Tuesday, August 20, 2013

සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ

 

ආදරයේ උණුසුම ළග දුක දැන්නේ නෑ

දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ

ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ

සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න  බෑ


තොල් අගමත හසදල්වා ප්‍රාර්තනා මල් පිබිදෙයි

ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්තනාවන් වැළලෙයි

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ

සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ 


දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි

සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි

ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ 

සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ...........

 ගායනය - සෝමතිලක ජයමහ


ලෝකයේ ජීවත් වෙන අපිට එදිනෙදා ජීවතයේ මුහුණ පාන්නට සිදුවෙන සිදුවීම් සහ අවස්ථාවන් යම් ලෝක ධර්මතාවයකට අනුව සිදුවන්නකි. ඒකාකාරී ජීවන ක්‍රමායක් නැති ජීව්තයට විටෙක සිනහව, විටෙක කඳුළ තවත් විටෙක සොම්නසද ළඟා වෙන්නෙ නිතැතිනි. දුක - සැප, ලාභ - අලාභ, නින්දා - ප්‍රසන්සා, යස - අයස ආදී වූ අට ලෝදහමට අනුව ජීවන චක්‍රය හඩගැසී ඇත්තේ එනිසාවෙනි.ගායන ශිල්පී සෝමතිලක ජයමහගේ හඬින් ගැයෙන මෙම සරල ගීතය මිනිස් ජීවිතයේ එක් පැතිකඩක් ඉතා ගැඹුරින් ස්පර්ශ කිරීමට සමත් ගීතයක් සේම වචන දහසකින් කියා නිමකළ නොහැකි ජීවිතාර්ථයක් ස්ංශිප්ත එක් පදපේළි අටකින්  කියා දීමක් වශයෙන් පෙන්වාදිය හැකිය.
මිනිස් ජීවිතය හා බැඳුණු පුද්ගලාන්තර බැඳීමක් වන ආදරය සෑම කෙනෙකුටම පාහේ පොදු වූ අත්දැකීමකි. මෙම පොදු කරුණ අත්විඳීමේදී එය පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන අවස්ථාද ඇත. ආදරය, සෙනෙහස තුළින් දැනෙන සුවපහස හමුවේ, උණුසුම හමුවේ සැනසෙන අපි  දුක, වේදනාව, සොම්නස නොහඳුනන්නෝ වෙති. එහෙත් අපි ජීවිතයේ බොහෝ දුර යායුතු ය. අපි විසින්ම ඒ දුර දැකිය යුතුය. අපි අත්විඳින මුහුණපාන  දුක, වේදනාව වැන පීඩාකාරී අත්දැකීම් නිසා පරිනත වෙන අපේ බුද්ධිය සහ අත්දැකීම් ඒ දුර ගමනට අත්පොතක් වෙන්නේය. සැප මතම රැඳුණු සිනහවෙන්ම කල්ගෙවන කෙනෙක් අපි අතරේ සිටිත්ද ???

ආදරයේ උණුසුම ළග දුක දැන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න  බෑ

විශ්වසය මත බලාපොරොත්තුව මත පූදින දසකුත් පැතුම් අපේ ජීවිත වලට ගෙන එන්නෙ ජීවත් වීමේ බලාපොරොත්තුවයි.සපලවූ බලාපොරොත්තු හමුවේ සිතපුරා සතුටු වෙන අපට දෑස් ඉදිරියේ බොඳවෙන  බලාපොරොත්තු හමුවේද ඉවසා දරා සිටීමට සිදුවීම ස්වභාවයයි. විවිධ වූ ආශවන් ගොන්නක් පොදි බැඳගෙන සැපය සතුට නිදහස සොයා  කරන්නාවූ මේ භව තරණය සුන්දරයි. එමෙන්ම කටුකයි.සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ  සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ..........

තොල් අගමත හසදල්වා ප්‍රාර්තනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්තනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ

දහසකුත් හැල හැප්පීම් හමුවේ පිඩා විඳින ජිවිතවලට  දිවා රැයේ සිත්වල උපන් නැවුම් ප්‍රාර්ථනාවන් නව ජීවයක් එක් කරයි. එහෙත් එම  බලාපොරොත්තුම  සුණු විසුණු වු විටෙක  අතිවෙන සිත් තැවුල ජීවිතය ඇද වැටීමක් ලෙස නොසිතා එය ස්වභවයක් ලෙස තෙරුම් ගැනීම වැදගත් කරුනකි. ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ...........

දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ 
සිනහ නැගෙයි කඳුළ නැගෙයි  එයයි ජීවිතේ........... 


                                                                                        වසන්ත කුමර